Friday, July 7, 2017



මෙතනින් එහා ලස්සනයි 





1

වීදුරු බිත්තියෙන් එහා සිට කිසිවෙකු  මා දෙස මහත් ඕනැකමකින් බලා  සිටිනු මම හදිසියේම දුටුවෙමි. නමුත් හදුනා ගැනීමට නොහැකි එම මුහුණෙහි රැදි  අනුකම්පාවට හේතු සෙවීමේ ශක්තියක් මට නොවීය. අකමැත්තෙන් වුවත් ඒ අපහැදිලි සිතුවම සමගින් මම යලිත් නින්දට වැටුනෙමි.    

දිනෙරු වාහනයේ ගැලවීගිය දොරටුවෙන් එළියට විසිවී ගිය අයුරු මම නැවතත් දුටුවෙමි. මම හයියෙන් කෑ ගැසුවෙමි. එම  විලාපය කිසිවෙකුට ඇසුණාදැයි මම නොදනිමි.

ලෙඩාට සිහිය ඇවිත්ලා ...හෙදියක පවසනු මට ඇසුණි.  මම සිටින්නේ රෝහලක බවත් මැවී පෙනෙනා සියල්ල සිහිනයක් නොවන බවත් මට හැගෙන්නට විය. මගේ දෙපා රතුපාට ලෙයින් පිරී ඇත.

කෝ දිනෙරු. මම සහ ඔහු මහ වැස්ස ඇදහැලෙද්දී වාහනය තුළ සිටියා මතකය.
අම්මා මා අසළම සිට ඉකිබිදින හඩ මට ඇසෙන්නට විය.

මට මොකද වුනේ...කෝ දිනෙරු..? එයාට මොකද උනේ. කොහෙද එයා ඉන්නේ.

කදුලු පමණක් නොව මගේ ජීවයද වියලීගොස් ඇතැයි සිතේ. කතා කරන්නට අඩුම තරමේ වේදනාවට හඩන්නටද මා තුළ ශක්තියක් ඉතිරි වී නොමැත. හිතුවාට වඩා සියල්ල බරපතලය.

මට පැවසීමට නොහැකි මගෙන් වසන් කළ යුතු දෙයක් සිදුවී ඇතැයි මට දැන් සහතිකය. ඇත්තටම එවැනි දුකක් දරාගැනීමේ අසා ගැනීමේ ශක්තියක් හැකියාවක් මට නොමැත.
මීදුමෙන් වැසී තිබුණ මාර්ගයේ මම සහ දිනෙරු පැමිණි වාහනය තවත් වාහනයක හැපී පොඩිපට්ටම් වෙනවා මට මතකය. ගැඹුරු හෙලකට වාහනය පෙරලෙන්නට යද්දී ලේ පිරුණු මුහුණින් දිනෙරු බලා සිටියේ මා දෙසය. 

මට සමාවෙන්න....

දිනෙරු අපහසුවෙන් මෙන් කියන්නට උත්සාහ කලේ එයයි. ඒ දසුන නැවතත් මතක් වී හඩන්නට නොහැකි මම ඉකිගසා හැඩුවෙමි. 

මාසයකට අධික කාලයක් මම සිහිනොමැතිව සිටි බව අම්මාගෙන් දැන ගතිමි. දැන් මා සිටින්නේ කොළඹ පුද්ගලික රෝහලයකය. 

මොහොතින් මොහොත දවසින් දවස මා වටා ඇති පරිසරය හදුනා ගැනීමේ හැකියාව මට ලැබෙමින් තිබේ.

ගම්පොළ සිට නුවරඑළිය දක්වා විහිද ඇති මාර්ගයේදී මම සහ දිනෙරු ගමන්ගත් රථය අනතුරට ලක් වීමෙන් අනතුරුව ලගම පිහිටි රෝහලටත් ඉන්පසු මෙම රෝහලටත් ගෙනැවිත් ඇත.

ඒ ලමයට මීට වඩා අමාරුයි. ඒත් මගෙ දුව කලබල නම් වෙන්න එපා.... ඇස්වල කදුලු හංගමින් කතා කරන්න උත්සාහ දරන අම්මාගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු වීම නිශ්ඵලය.

ඔහු ලගම සිට පිහිට විය යුතු අවස්ථාවක මම අන්ත අසරණය. එකම රෝහලක වුවත් දෙතැනකය. ඒ මගේ දෛවයෙහි අකාරුණික සරදමය. වහා දිව ගොස් ඔහු බැලීමේ නොනිමි ආශාව හදවතේ පුපුරන්නට ආසන්නය. මේතරම් වේදනාවක් ඔහු දරාගන්නේ කෙළෙසකින්ද.
එනමුදු දෙපා මුලුමනින්ම ඔතා ඇති අවස්ථාවක මට දෙපයින් නැගී සිටීමට වෛද්‍යවරුන්ගෙන් අවසර නොමැත.ඔවුනට අනුව තවත් එක් තීරණාත්මක ශල්‍ය කර්මයකට මුහුණ දීමට හෙට දිනයේ මම සූදානම් විය යුතුය.

බොහත් වල ගද සුවද, වේදනාව අතරමැද වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ කාරුණික වචන හදවත් දුකින් මුදවාලන මිල කළ නොහැකි තවත් ඔසුවකැයි මට සිතේ. 

පැහැදිලි මනසකින් වටපිට බලන්නට ගත්තට පස්සේ ඉස්සරවෙලාම මගේ ඇස් නතරවුනේ ඇද අසළ කුඩා අල්මාරිය මත වතුර වීදුරුවකට දමා තිබුන පරවෙන්න ඔන්න මෙන්න ලංවුන රතු රෝස මලක් වෙතට.

ඇයි මේ මල තාම අයින් කරලා නැත්තේ එහෙම නේද ඔයා අහන්නේ. මගේ නෙත් දුටු හෙදිය මට ලංවුනේ ඒ මල මා වෙතට දිගු කරන ගමන්.
ඔයා බලන්න ආව විශේෂ කෙනෙක්. ඔයාට සිහිය එනකන් අයින් කරන්න එපා කිව්වා. ඇය සිනාසෙමින් ලාච්චුව ඇරලා කහපාට කොළයක් ඇගේ අතටගත්තා.
මේ අකුරු ඔයාට කියවන්න පුලුවන්ද. ඇය මම දෙස බලා සිටියේ විමතියෙන්.

අරාබි අකුරු දකිද්දී මම කම්පනයට පත්වුනා. බොදවුන දෑස් අතරින් මම කියවූයේ මගේ අතීතයයි. ෂෙහෙරිගේ නම දකිද්දී මතකයට මතුවෙන්නට නොදී තිබුණ තවත් මතකයක් මගේ සිත් මානයේ වේගයෙන් සිහියට නැගුනා.

දිනෙරු සහ ෂෙහෙරි. 

මගේ දෙනෙතින් කදුලු උල්පතකින් වාගෙ ගලා හැලෙනවා. මතකයේ ගලා එන ඒ අතීතයම තුරුලු කර ගන්නවා හැර වෙන කුමක් කරන්නද. ෂෙහෙරි මට හමුවුන හැටි. මම ලංකාවෙන් දුරු රටකට ගිය හැටි. කදුලු අතරින් මම ඒ අතීතයේ එහාට මෙහාට ඇවිද ගියා.






මගේ තීරණ ගැන කිසිම බලපෑමක් නොකල අම්මා සිදුවන සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සිටියා.මම ඇයගේ දෙපා නැමද පොඩිමාමාගේ වාහනයට ගොඩ වුනා. පාන්දර කලුවර වැටී ඇති මිදුල දිහා මම අවසාන වතාවටත් බැලුවා. මිදුලේ පිණිවැලි මතට සේපාලිකා මල් විසිරිලා තිබුනා. අම්මාගෙන් ගලා එන ඇත්තම ඇත්ත කදුලු ලග මගේ සිත වාවා ගැනීමට නොහැකි වෙමින් තිබුණා.

වාහනය මිදුලෙන් පිටවෙනවාත් සමගම අම්මා ඉදිරියේ සැගවූ කදුලු මම එකවරම මුදා හැරියා. අම්මගේ ඉකිබිදුම් ලග සසල වූ පොඩි මාමා කටුනායකට යනතුරු මම දෙස හැරී බැලුවේවත් නැහැ. මුල සිට අගට මගේ කතාවේ බොහෝතැන් දන්නා ඔහු මෙම සිදුවීම් වලට වෛර කරනවා විය හැකියි මට සිතුනා.

ගුවන් තොටුපොළ ‍දොරටුවේ සිට මගේ ගමන නවත්වන්නට දිනෙරු මාවත හරස් කරමින් බලා සිටිනු ඇතැයි අනුමාන කල මා දෙනෙත් පිස දමමින් වට පිටද බැලුවෙමි. නමුත් ඔහු පේනතෙක් මානෙකවත් සිටියේ නැත
.
මාමාගෙන් සමුගෙන මම අදාල කටයුතු එකිනෙක කරමින් සිත් පිත් නැත්තියක සේ ඇවිද ගියෙමි.මගේ ගමන නවත්වන්නට දිනෙරුට තවමත් හැකියාව තිබේ. නමුත් ඔහු නැත.

මම පිටරටකට යනවා යැයි ඔහුට මුලින්ම පැවසුවේ විහිලුවට මෙනි. ඔහුගේ සිත පිරික්සා බලන්නටය.ඒ මීට අවුරුදු දෙකකට කලිනි.ගමන් බලපත්‍රය හදන දවසේ ඔහු වචනයක්වත් කතා කලේ නැත
මම ඔහුගේ මුහුනෙන් දුටුවේ ගියත් එකයි නැතත් එකයි යන අන්දමේ අවිනිශ්චිත ස්වරූපයකි. ඒජන්සියට සම්මුඛ පරීක්ෂණයට ගියේ මීට මාස දෙකකට කලිනි.ඒ වනවිට අප එකිනෙකා අමනාපව සිටියද මම ඒ බව ඔහුට දුරකතනයෙන් දැනුම් දුන්නෙමි. ඒ එකදු මොහොතක කතා නොකර නිහඩව සිටි දිනෙරු මෙම අවස්ථාවේ නම් නොඅනුමානව එනු ඇතැයි මම දැඩි ලෙසම විශ්වාස කලෙමි.

ගුවන් යානය පිටත්වීමට ආසන්නය. ගෙදරින් පිටත් වූ මොහොතේ පටන් කටුනායකට එනතුරු මම බලාගෙන සිටියේ දිනෙරු පැමිණෙන තුරුය. නමුත් ඔහු පැමිණියේ නැත. ඉතාම නින්දිත අයුරින් ඔහු මගෙන් පලිගත්තා යැයි දැන් මට සිතේ. මම ලංකාවෙන් පිටවීම ඔහුට වේදනාවක් වනු ඇතැයි මම අනුමාන කලද එතැනද සිදුවූයේ වෙනත් බොහෝ අවස්ථාවල මෙන් තවත් එක් වැරදීමක් පමණී.මම තවදුරටත් ලංකාවේ නොසිටීම ඔහුට සැම අතකින්ම අස්වැසිල්ලක් ලෙස ඔහු සිතනවා විය යුතුය.

දිනෙරු යනු මම මුලුහදවතින්ම ආදරය කලේ මගේ පෙම්වතාය. නමුත් ඔහුට මම කවරෙක් වන්නට ඇතිද? එයට පිළිතුරු සෙවීමට සිදුවී ඇත්තේ දැන්ය. කදුලිනි. සිනහවෙන් වැළද ගත් ආදරයට සිදුවූ දේ පුදුමාකාරය. එය මේ විදියට අවසාන වේ යැයි මම සිහිනෙකින්වත් සිතුවේ නැත.

තවමත් මගේ සිත ඔහු වෙනුවෙන්ම වෙහෙසෙයි. මේ මොහාත වඩාත් හැගුම්බරය. ඔහුත් මමත් සදහටම වෙන්වෙන බිම් තීරුවේ මම ඔහේ බලා සිටියෙමි. 

සවිදි අරාබියාවේ රියාද් නගරය බලා පියාසර කරන ගුවන් යානය අංගනයට පිවිස ඇති බව මට ඇසුණි.මගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. කොහේ සිට හෝ ඔහු පැමිණ මගේ ගමන් බලපත්‍රය උදුරාගන්නේ නම් මැනවැයි මට සිතුණි. හිතුවක්කාර මගේ තීරණයට දඩුවම් ලැබෙන්නට යන බව සහතිකය. ඒත් උඹ හරි හිතුවක්කාරයි යනුවෙන් ඔහු මට කිසිදාක නොකියනු ඇත.
සියල්ලටම සිදුවන්නට ඉඩදෙමින් ඔහු බලා සිටින්නේ සිත් පිත් නැති අයෙකු ලෙසය. සිතක් නැති පුද්ගලයෙකුට ආදරය කිරීමේ විපාකයයි මේ. 

ආදරණිය ලංකා පොළවෙන් යානයට එසවී ඇති පඩිපෙළ ලගදී මගේ දෙපා ගැහෙන්නට විය.

නැවතත් මම සිත දැඩිකර ගත්තෙමි. මම මගේ අලුත් ජීවිතය සොයා යා යුතුය. මේ කුරිරු වේදනාබර මතකය  අමතක කල හැකි වන්නේ එවිටය. මට වේදනාවන් උරුමකරදුන් අයගේ සෙවනැල්ලවත් නොවැටෙන දේශයකට මා යා යුතුය.

ආදරය කළවුන්ගෙන් සමු ගනිමින් දෙනෙත් වල කදුලු පුරවාගත් සිය ගණනක් ගැහැණුන් මම දුටුවෙමි. පරාජිත ආදරයේ මතකය අමතක කරන්නට මෙවැනි අවදානමක් බාර ගන්නා එකම ගැහැණිය මම දැයි මට සිතේ. මගේ ආදර කතාවේ අවසානය සිහිනයකින් කෙළවර විය. නමුත් දිනෙරු අමතක කර දමන්නට නොහැකි වීම මට මහා වේදනාවකි.

මම ඔයාට රට දාලා යන්න කිව්වෙ නැහැ. නැවත අප හමුනූ දිනෙක දිනෙරු එලෙස පවසනු ඇත. ඒ අවසානයට මාව තල්ලු කලේ ඔයා යැයි තර්ක කරන්නට මට අවශයමය. නමුත් කිසිදාක යලිත් අප හමුනොවෙනු ඇත.  

ගුවන් යානයට පිවිසෙන දොරටුය ලග සිට නිල්ල ගැසුණු මගේ රත්තරන් රට දෙස බලන්නට උවමනාවක් තිබුණු නමුදු අතේ තිබූ ගමන්මලු පරීක්ෂා කරන නිළධාරින් නිසා ඒ අවස්ථාව ව්‍යර්ත වෙමින් මා කඩිනමින් ඉදිරියට තල්ලු වී ගියේ නොසිතූ විලසිනි. මගේ ජීවිත අරමුණුද මේ ලෙසින් නන්නාදුනන දේශයකදී නන්නත්තාර වේදැයි බියක් එකිනෙහිම සිතට ඇතුලු විය.

පැය පහ හමාරක ගුවන් කාලයක් සදහා යානය ගුවන් ගත වෙන්නට සූදානම්ය.

දිනෙරු සහතික ලෙසම වෙනස් වූයේ මුදල් නිසාය. ඔහු වන්දනා කලේ මුදල් වලට පමණී.මගේ ආදරය ඔහුට අවලංගු කාසියකි. 

ගුවන් යානය සෙමින් සෙමින් ගුවන් පථය දිගේ ඉහලට එසවෙද්දී මට සිහි වූයේ අම්මාය. දිනෙරුගෙන් මා ඉගෙන ගත් පාඩමට තනිකමෙන් වන්දි ගෙවීමට සිදුවූයේ ඇයටය. කාලයේ වැලි තලාවෙන් සියල්ල අමතක වී ගිය දිනයක නැවත මම ලංකාවට පැමිණිය යුත්තේ නමු ඒ ඇය වෙනුවෙන් පමණකි. 

මගේ ආත්මයේ සියලු බැදීම් සුන්නත්දූලි කරමින් යානය ගුවන්ගත වෙයි.

මම වේගයෙන් දුරස්ව යන්නේ ගතින් පමණක් නොවේද? දිනෙරු සමග මම තවමත් මවිබිමේ යැයි මට සිතේ.
ඒ නිසාම යානයේ කව්ලු වසා සැවොම නිදියන්නට සැරසෙද්දී මම අතීතය මෙනෙහි කරන්නට සිතුවෙමි.

ඇයි දුවේ ඔයා අඩන්නේ... අම්මා මා ලග තවමත් අවදියෙනි. නැවතත් මම රෝහලේ ඇද මත.

අම්මාට උත්තර දෙන්න මගේ හඩ පිටවුනේ නැහැ. ඒත් මට වෛද්‍යවරුන් කියන දේ ඇහෙනවා. තේරෙනවා. හෙට උදේ ශල්‍ය කර්මය. මගේ කකුල් දෙක ගැන. සමහර විට කපන්න වෙයිද දන්නෙ නැහැ. ඉංග්‍රීසියෙන්. ඉතාම හෙමින්. ඒත් මට ඇහෙනවා..දෙවියනේ මට තේරෙනවා.

මෙතනින් එහාට ලස්සනයි කියලා මම හැමදාම සිතුව සුබවාදී සිතුවිලි මට සමච්චල් කරනවා වගේ මට දැනුනා. මගේ ලස්සන අතීතය මෙතනින් එහාට ඉවරද වේවිද. සුසුම් හෙලමින් මම උත්තර හෙව්වා.
හිත හදා ගන්නට මට පුලුවන් වේවි. මම එහෙම හිතුවා. අම්මා මගේ ඔලුව අතගාන බව මට තේරුණා. මට නින්ද යාගෙන ආවා. නින්දත් නොනිනදත් අතර මම ආයෙත් නොඑන ඒ අතීතය තුළ ඇවිද ගියා.

මගේ පුංචි ගෙදර තිබුනේ ගම්පහ දිස්ත්‍රික්කයේ එක්තරා ලස්සන ගමක. උදේ හවස මම ජනේලයේ කවුලු අතරින් පන්සලේ වෙහෙර දැක්කා. ඒ වන්දනීය දසුන දකින්න මම පින් කරලා තිබුනේ පන්සල අපේ වත්තට එහායින් පිහිටලා තිබුන නිසා. අපේ පවුලේ සිටියේ අම්මයි මමයි තාත්තයි විතරයි. තාත්තා වැඩකලේ ගම්පහ පුද්ගලික ආයතනයක. මම පවුලේ එකම දරුවා.

සියලු අගහිගකමි දරාගෙන ඔවුන් මට හොදට ඉගැන්නුවා. ඒ දවස්වල ඉගෙන ගන්නවා ඇරෙන්න වෙන අරමුණක් මට තිබුනෙම නැහැ. ඒ මහන්සිය නිසාම විශ්ව විද්‍යාලයට යන්න වාසනාව මට උදා වුනා. ඒ වාසනාවන්ත කාලෙදිම එක්තරා අවාසනාවන්ත ඉරණමකටත් මුහුණ දෙන්න මටයි අම්මටයි සිදුවුනා.  අම්මයි මමයි තනිකරලා තාත්තාට අකාලයේම අපෙන් වෙන්වෙන්න සිදුවුනා. ඒ දුක නම් මගේ ජීවිතයෙන් කිසිදා නොමැකෙන අදුරු මතක සටහනක්. 

මට ඉගෙන ගන්න ඕනැවුනා. ඒක තාත්තගෙ එකම බලාපොරොත්තුව. එකම සිහිනය. අම්මා ඒ වෙනුවෙන් ගත් උත්සාහය කෙළවරක් නැති එකක්.

ගම්පහ ඉදන් කැළණිය විශ්ව විද්‍යාලයට ඒ තරම් දුරක් නැති වුනත්  මම නේවාසිකාගාරයේම නතර වුනා. ඒ අම්මාට පන්සලේ පිහිටා තිබුණ අනාථ නිවාසයේ නැවතිලා සේවය කරන්න සිදුවුන නිසා.
බොහෝ දවස්වල මම නිවාඩුවට කියලා  ගියෙත් ඒ අනාථ නිවාසයට. පිරිමියෙකු නැති අපේ නිවස වත්ත දවසින් දවස කැලෑවෙන් වැහෙන්නට උනා.

ආදරය සෙනෙහස වාගේ දේවල් මගේ ජීවිතයට ආගන්තුකයි කියලා මම විශ්වාස කලා. එය ලැබෙන්නම ඕනැ වයසෙදි නොලැබීම නිසා තවදුරටත් එය මගේ ජීවිතයට අනවශ්‍යයැයි කියා හිතන්නට මම පුරුදුවුනා. කිසිවෙකු මගේ ජීවිතයට ආවා නම් ඊටත් ඉක්මනින් ආපසු ගියා. මම හිතුවාටත් වඩා යස ඉසුරු බැම්ම ශක්තිමත් එකක් වෙලා තිබුනා.

පළමුවෙනි අවුරුද්ද අවසානයේ නේවාසිකාගාරයෙන් ඉවත් වුන මම පොල්හේනේ නිවසක නතරවුනා. බොහෝ දෙනෙකුට ඉංග්‍රීසි පන්ති පවත්වා අමතර ආදායමක් හොයා ගැනීමේ අවස්ථාව ඒ නිසා මට උදාවුනා.
මම විශ්ව විද්‍යාලයෙන් ඉවත් වෙලා පෞද්ගලික ආයතනයක සේවයට බැදුනේ පුහුණුවන ලිපිකාරිණයක් ලෙසයි. මේ වන විට මම පිරිස් කළමනාකරණය පිළිබදව පාඨමාලාවක්ද හදාරමින් හිටියා.

අනාථ නිවාසයේ භාරකරු වුනේ පන්සලේ ලොකු හාමුදුරුවෝ. දහම් පාසැලේ ඉගෙන ගෙන එහිම ගුරුවරියක් වීම නිසා අප අතර තිබුනේ ගෞරවනීය හිතවත් කමක්.

ඉදලා හිටලා ලැබෙන උසස් වීමක් පඩි වැඩි කිරීමක් ජීවිතයේ වෙහෙස නිවා දැම්මා.

මගේ වයසේ සමකාලීන තරුණියන්ට වඩා මම තරමක් වෙනස් චරිතයකින් යුක්ත බව මට බොහෝ දෙනෙකු පවසා සිටියේ මගේ සරල ගතිගුණ නිසා බව මම දැනගෙන හිටියා. ඒ එකදු වෙනසක්වත් මම ජීවිතයට බලෙන් ආරූඩ කරගත් ඒවා නොවේ. 

මොන අන්දමේ හෝ වෙනස්කමක් අපේක්ෂාවෙන් ජීවිතය මේ විදියට ගෙවිලා ගියා. කෙම්බිම් හමුවෙන්නෙ කාන්තරයකදී. මම එහෙම හිතලා හිත හදා ගත්තා.

මේ දවස්වල දේවිකා මගේ හොදම මිතුරිය වෙලා හිටියා. ඇය අපේ කාර්යාලයේ ගිණුම් ලිපිකාරිණියක් ලෙස සේවය කලා.




දවසක් දේවිකා යෝජනාවනක් ගෙනාවා සිරීපාදෙ යන්න.එයාගේ පවුලේ සියලු දෙනාම මේ ගමනට සහභාගි වන නිසා අම්මගේ අවසරය මට ලැබුනා. මගේ ජීවිතයේ ලොකුම වෙනස්කමක් සිදුවන මේ ගමන මම අදත් සිහිනරන්නේ පුදුම සතුටකින්.

කොහේ හෝ ඈතකින් ලා නිල්පාටට සමනළ කන්ද දකිද්දී හදවතට දැනුනේ පූජනීය හැගීමක්.ඒ වෙද්දිත් මගේ ජීවිතයේ එක්තරා කාලයක දුටුව සිහිනයක් මතකයේ රැදිලා තිබුණා. ඒ පුංචි සිහිනය පුරාවටම තිබුනේ සමනළ කන්දයි. ඒ සිහිනයේදී නන්නාදුනන තරුණයෙකු මා හා කතා කරන්නට උත්සාහ දරණ අයුරු අදටත් මගේ සිහියට නැගෙන්නේ නිතැතින්මයි.

මම සිරීපාදෙ වදින්න යන්නෙ පළවෙනි වතාවට. මම දේවිකාට පැවසුවේ සිහිනය ගැන පැවසීමෙන් අනතුරුවයි.
ඒ හීනෙ අද හැබෑවෙයිද දන්නෙ නැහැ.දේවිකා මට විහිලු කරමින් පැවසුවා. 

අවටින් හමාගෙන ආ සුවදායක සීතළ සුළග වෙහෙසකර සිරුරට එකතු කලේ අමුතුම ආශ්වාදයකි.කව්ලුව අයිනේ සිටි දේවිකාගේ උරහිසට මම නිකට තබා ගත්තා. සුපුරුදු සෙනෙහසින් දේවිකා මා තුරුලු කර ගන්නවාත් සමගම රන්ජිත් අයියා පිටුපස සිට සීතදැයි ඇසුවේ ඇසක් පුංචි කරමින්.  

දේවිකාගේ අයියාගේ විහිලු මට හුරුපුරුදු වුවත් ඔහුගේ මිතුරන් දෙදෙනා ඉදිරියේ මම ලැජ්ජාවට පත්වූයෙමි. අයියා උඹට ආදරෙයි නේ ගණන් ගන්න එපා දේවිකා මට රහසින් කීවේ මගේ අපහසුතාවය තේරුම් ගනිමිනි
.
සමන් දෙවිදුන්ගේ පූජනීය අඩවිය පිළිබදව සිතන්නට උත්සාහ ගත්තද එය කල නොහැක්කක් විය. බැලුම්මහර පෙදෙසේ සිටම අපගේ වාහනය වරෙක පසුකරමින්ද වරෙක ඉස්සර කරමින්ද පැමිණෙන නිල්පාට රථය නැවතත් අපගේ වාහනය පසුකලේ එහි සිටි තරුණයින්ගේ මහා කෑ ගැසීම මැද්දෙනි.සම්පූර්ණයෙන්ම වාහනයේ සිටින්නේ තරුණයින් පමණක් බව පැහැදිලිය.

අපේ වාහනය පදවාගෙන පැමිණි කමල් අයියා වාහනය නතර කලේ ඔවුනගේ වාහනයට පිටුපසිනි. වන්දනා ගමනකට කිසිසේත් නොගැලෙපෙන ඇදුම් විලාසිතාවන්ගෙන් සැරසුන තරුණයින් එක එල්ලේම බලා සිටින්නේ අප දෙසය.ඔවුනගේ අවධානයෙන් බේරෙන්නට උත්සාහ ගත්තද රන්ජිත් අයියා සහ ඔහුගේ මිතුරා වන චින්තක අයියාද පමණට වඩා අවධානය යොමුකර ඇත්තේ මා දෙසටය. කල යුතු නිසිවක් නොතේරේ.

කමල් අයියා සහ දේවිකාගේ තාත්තා වූ රණවීර මාමා නවාතැන සොයා ගැනීමේ අදහසින් පිටත් වූ බැවින් දේවිකා සහ මම වාහනයෙන් මදක් ඈතට වී ඈත පෙනෙන සමනළ කන්දේ අසිරිය දෙස බලා සිටියේ අතිමහත් සතුටකිනි.

නංගී අම්මලා එක්කම ඉන්නවා.... පේනව නේද අර... රන්ජිත් අයියා පැමිණ පෙන්වූයේ දුර දක්නයකින් අප දෙස බලමින් සිටින තරුණයන් පිරිසවය. බලවත් කෝපයක් මවා ගනිමින් අප එතනින් ඉවතට ගියෙමු. 

මාමා නැවත පැමිණීමෙන් පසු අප සැවොම ගමන් මලු රැගෙන නවාතැන වෙත ගමන් කළෙමු. ඔවුනගේ රථය පසු කරද්දී මට ඒ දෙස බැලුනේ ඉබේටමය.

හැන්ඩ්ස්ම් බෝයිස්ලා ටිකක් නේද? දේවිකා මගේ කණට කෙදිරුවාය.
ඕනැවට වඩා වටපිට බලන්න එපා අයියලා ඉන්නේ ගාඩිස්ලා වගේ මම පැවසුවේ ඇත්තකි.
ඔපීස් එකේ පොත් දිහා බලලා එපා වෙලා ඉන්නේ. එලිමහනක් දැක්කේ කාලයකට පස්සේ. දේවිකා කීවේ දගකාර ලෙස සිනාසෙමින්.
මේ විනෝද ගමනක් නෙමේ වන්දනා ගමනක්. මම ඇයට සිනාසෙමින් පැවසුවෙමි.
හරි හරි උපාසක අම්මේ.....හොදට වන්දනා කර ගනින්..

නවාතැනට වී පැය දෙකකට පමණ පසු සමනළ කන්ද තරණය කිරීමට අප පිටත් වූයේ රාත්‍රී හතට පමණය.  දරාගැනීමට නොහැකි සීතල නිසා මම සිටියේ දේවිකා අසළම දැවටීගෙනය. සදඑළිය හා මුසුවුණ නැවුම් තේ පදුරු රාත්‍රී කරුවළෙහි චමත්කාර රූ රටා මවමින් තිබුණි.

සාම චෛත්‍ය පිහිටා තිබූ රමණීය පෙදෙසේ දී වෙහෙස නිවා ගැනීමට අප සියල්ලෝම මදක් නැවතී සිටියෙමු. චින්තක අයියා මට කළ විහිලුවක් මම දේවිකාට පවසමින් සිටියෙමි.

ඔය ගොල්ලො කොහෙද නංගී....හදිසියේම අප ලගින් ඇසුණු හඩට හිස හැරවූ විට මම දුටුවේ පෙරකී තරුණයින් පිරිසවය. උත්තර නොදී එතනින් ඉවත්ව යන්නට මම උත්සාහ කළෙමි.
අපි දැන්නම් ඉන්නෙ සිරීපාදෙ... දේවිකා මට වඩා ඉස්සර විය. ඒ උත්තරයෙන් දිරිමත් වූ ඔවුන් තරමක් ඉදිරියට ආවේ මේ හරියට අපි නම් කියන්නේ සාම චෛත්‍ය කියලා.
අර ඉන්නේ ඔයාලගේ අයියලද?
නෑ ඒ අපේ බෝයි ප්‍රෙන්ඩ්ස්ලා...
එච්චර නියමයිනේ..
ඔවුනගේ අසංවර හැසිරීම පිළිබදව මට ඇතිවූයේ ඉමහත් තරහවක් බැවින් වහාම එතැනින් ඉවත්වූයේ අපි යන් දේවිකා යැයි තදින් පවසමිනි.
දේවිකාගේ නම නම් දැනගත්තා.  එත් ඔයාගෙ නම තාම දන්නෙ නැහැනේ.කණේ කරාබුවක්ද පැළද සිටි එක් අයෙකු අතේ ඇති තොප්පියද උඩ දමමින් ඇසුවේය.
අපි එතැනින් ඉවත්ව යන විට පස්සේ හමුවෙමු යනුවෙන් ඔවුන්  පැවසුවේ හඩ නගා සිනාසෙමිනි.
ගණන් නොගෙන යමන් බන් එතකොට ගමනේ මහන්සියක් නැහැ. මගේ කේන්තිය නිවන්න දේවිකා එහෙම කිව්වා.

නැවත වතාවක් ඔවුන් අපට මුණ ගැසුණේ ඉදිකටුපහණ අසළදීය. එක ඇගිල්ලන්වත් සෙලවීමට නොහැකි ලෙස අපි මහා තදබදයකට ලක්ව සිටියෙමු. මම සිටියේ දේවිකාව තදින් බදාගෙනය.

පුදුම සෙනගක් නේද නංගී?

මම හැරී බැලුවේ තරහිනි. යන යන තැන මේ අය.
ඔච්චර තරහා වෙන්න එපා නංගී සිරීපාදෙ ඇවිත්ලා පව් පිරෙයි. ඔහුගේ ඝනකම් යකඩ දම්වැල් මාලය සද එළියේ දිලිසුනි.

තද සීතල ඔවුනට කිසිසේත් නොදෙනෙන ගානය. එක අයෙකුගේ කබාය ඇත්තේ ඉන වටාය. අත් නැති බැනියම් වලින් සැරසුණු හැම අයෙකුගේම මෙන් බහුවෙහි  පච්ච කොටා තිබුණි.ඩෙනිම් කලිසම් සහ මේ සියලු විලාසිතා මා දැක්කේ පූජනීය පෙදෙසකට නොගැලපෙන විකාරයන් ලෙසය.

අපි ආසයි ඔයාලව අදුනගන්න. 

අවසානයක් සහ තොරතෝංචියක් නැති ඔවුනගේ විහිළු ඉදිරියේ කීමට කොතෙක් දේ තිබුනද මම නිහඩ වී සිටියෙමි.

දුම්වෙටි රහසේ දල්වාගෙන සිටි ඔවුන්ගෙන් එකෙකු දුම්රොටු අපගේ මුහුණට පිම්බේ ඒ අතරතුරය. ඉදිරියෙන් ඇති වූ තදබදයක් නිසා මම එක තරුණයෙකු දෙසට තල්ලු වී ගියේ මටත් නොදැනීමය.එම තරුණයාගේ අතේ තිබු දුම් වැටියට  මගේ අත පිලිස්සී ගියේ එකිනෙහිමය.වේදනාව සහ කේන්තිය නිසා මගේ දෑසට කදුළු පිරී ආවේ මටත් නොදැනීමය.කදුළු බේරෙන දෑසින් මම ඒ තරුණයා දෙස බැලුවෙමි.

බිමහත් බියට සහ පසුතැවීමට පත් වූ ඔහු හිස් වැසුම ගලවා අහිංසක ලෙස සමාවෙන්න යැයි කීවේය.ඔහු සමාව ඉල්ලූ ආකාරයට මට ඔහු කෙරෙහි අනුකම්පාවක් ඇති විය.දුම්වැටිය ඔහුගේ අතේම ඔහු විසින්ම පොඩිකරගෙන තිබුණි.

මට සමාව දෙන්න විදුලි පහන් එලි වලට ඔහුගේ ඇස් දිලිසුණි.

ඒ දෙනෙත් සහ ඒ කටහඩ මට හුරුපුරුදුය.මම මතක් කරන්නට උත්සාහ කලෙමි. ඒත් කිසිවක් පැහැදිලිව සිතුනේ නැත.

විහිළු කරන්න එපා මචන් ඔහු මිතුරන්ට කියනු මට යාන්තමට ඇසුනි.මට මගේ වේදනාව  අමතක වී ගියේය. දේවික නැවතත් මා ලගට පැමිණයේ මේ අතරතුරය.මොහොතක් ඇතුලත සිදුවූ දෙය ඇය දන්නෙම නැත. 

නැවත නැවතත් ඔහු දෙස බලන්නට මට උවමනාවක් ඇති විය. තදබදය ඔස්සේ අපි ඉදිරියට ඇදී යද්දී ඔහු මිතුරන් සමග එතනම ගල් ගැසී සිටියේය.අතීතයේ එක්තරා දිනෙක දුටු සිහිනයේ එකම මිනිස් රුව ඔහුට සමාන යැයි මට සිතෙන්නට විය. 

ඒ සිදුවීමෙන් පසු ඔවුන් නැවතත් අපිට විහිළු කරන්නට පැමිණයේ නැත. උඩ මළුවට යනතුරු කීප අවස්ථාවකම මගේ දෙනෙත් ඔහුගේ දෙනෙත් සමග එකට මුණ ගැසුණි. ඔහු මා  හා සිනාසුන සෑම අවස්තාවකදීම මමද යන්තමින් සිනා සුනෙමි. 

නන්නත්තාර විලාසිතා වලින් වැසුන සිරුර ඇතුලේ ඇති නැවුම් අහිංසක හදවතක් මට යන්තමට පෙනෙමින් සහ දැනෙමින් තිබුණි.

අදුර මෙන්ම තදබදය වැඩි තවත් අවස්ථාවක කාටත් නොපෙනෙන ලෙස මා අසලට පැමිණි ඔහු තාමත් රිදෙනවද යැයි කාටත් නොඇසෙන ලෙසින් විමසුවේය.

දරාගැනීමට නොහැකි සීතල නොතකා මම දොළොස්මහේ පහනට පොල්තෙල් වක්කරමින් සිටියෙමි.ගිනිදෙල් අතරින් මම නැවතත් ඔහුගේ රුව දුටිමි. ඔහු එක එල්ලේම බලා සිටියේ මම දිහාය.ඒ ඇස් වලින් ඔහු මොනවදෝ කියන්නට සැරසෙයි. 

නමුත් කිසිවක් කතා කරන්නට කිසිදු අවස්ථාවක් ඊට පසු උදා උනේ නැත. හිස් හදවතකින් සමොනල වදින්නට ගිය මට දෙවියන් නැමද ප්‍රර්ථනා කිරීමට කිසිවක් ඉතිරිවුනා වැනි හැගීමක් දැනෙන්නට විය.
සමනල කන්ද වදින්නට ගිය ගමනේ ඉතිරිවූ සොදුරුතම මතකය එය පමණක් විය.ඔහු හමුවී කතා කිරීමේ උවමානව මට තිබුණි. ඔහුටත් මා  සමග කතා කිරීමේ උවමනාවක් තිබුන බව පැහැදිලි උනත් ඒ අවස්ථාව නොයෙකුත් හේතුන් නිසා මගහැරුනි. චින්තක අයියා මගේ පෙම්වතා යැයි ඔහු අනුමාන කරන්නට ඇති යැයි මා  සිතනුයේ ඔහු නිරන්තරයෙන්ම මා අසලම රැදීහුන් නිසාය.

මේ ලස්සන සිදුවීම සොදුරු මතකයක්ව කාලයේ වැලිතලාවෙන් වැසී යන බව මම දනිමි. එය ඒ ලෙසින්ම මගේ ජීවිතයේ මෙතෙක් සියල්ල සිදුවූවාක් මෙන් අමතක වී යන්නට මම ඉඩ හැරියෙමි. 

නැවතත් කොළඹ  ජීවිතයට . දුම්රොටු. යානවාහන උස් ගොඩනැගිලි . තදබදය . මැද්දෙන් අලුත් සතියක් පටන් ගත්තා. සතියක් විතර යනකන් මමයි දෙවිකයි නිතරම කතා කලේ සීරීපදේ චාරිකාව ගැන.
අපරාදේ දන්නවනම් මම ඇඩ්රස් එක දෙනවනේ. එහෙම කියමින් දේවික මට විහිළු කලේ වරක් දෙවරක් නෙමේ. 

අපේ ආයතනයේ අලුත් ශාකාවක් වතුපිටිවල ප්‍රදේශයේ නිදහස්  වෙළද කලාපයේ  පටන් ගත්තේ මේ දවස්වල. මේ වනවිට මම සහකාර පිරිස්  පාලනවරියක ලෙස උසස් වීමක් ලබගෙන හිටියේ. කොළඹට වඩා මට වතුපිටිවල කිට්ටු වුන නිසා මමත් අසාවෙන් වැඩට අවා.

පිරිස් කළමනාකාර පෙරේරා  මහතා සහ මමත් නිමාලි නැමති ලිපිකාරිණියක්ද මේ ආයතනයේ පිරිස් කළමනාකාර අංශයේ සේවයේ නිරිතව සිටියා.

දේවිකා ගේ නැන්දා රන්පොකුණුගම නිවාස සංකීර්ණයේ පදිංචි වෙලා හිටිය නිසා ඇයත් වතුපිටිවල ගිණුම් අංශයට මාරුවක් ලබාගෙන පැමිණියා.

දෙමව්පියන් විසින් දේවිකාට විවාහ යෝජනාවක් ගෙනාවෙත් මේ දවස්වල. 

මේ ගැන ආරංචි උනාම අම්මත් මම ගැන ඒ විදියට හිතල විවාහ යෝජනා හොයන්න පටන් ගත්තා.
දේවිකා  විවාහ ගිවිස ගැනීමට තීරණය කරලා මට පැවසුව දවසේ මමත් මගේ ජීවිතය ගැන හිතන්න පටන් ගත්තා. මටත් වඩා  මම ගැන අම්මා ට දුක හිතෙන්න ඇති.
මගේ දුවටත් වරදින එකක් නෑ. මම  දේවිකාලගේ ගෙදර යන්න සාරියකින් සැරසුන දවසේ අම්මා මම ලගට වෙලා පැවසුවා.
අම්ම ඒ ගැන වද වෙන්න එපා. මට ඕව ගැන හිතන්න තව කල් තියෙනවා. ඇයගේ සිත සනසනු අටියෙන් මම එහෙම කිව්වා.

එක දවසක උදේම මිස්ට පෙරේරා මාව ඔහුගේ කාමරයට කැදෙව්වා. කොම්පියුටර් ප්‍රෝග්‍රෑම්ස්ලගේ ඉන්ටර්වීව් එක ඔයා කරන්න. මට දැන් වැදගත් මීටින් එකක් තියෙනවා. හොදම දෙන්නෙක් විතර තෝරාගෙන මට දාන්න ඊලග සදුදට. ඉහල මාලයට යන්න සැරසුන ඔහු සම්මුඛ පරීක්ෂණයට අදාළ ලිපි ගොනුව මගේ අතට දුන්නා. ඒ වන විටත් සම්මුඛ පරීක්ෂණයට කීප දෙනෙක් පැමිනිලා සිටිනා අයුරු  මම දුටුවා. 

එක අයදුම් කරුවෙකු කැදවා මම ඔහුගේ අයදුම් පත පිරික්සමින් සිටියා.
දිනෙරු දිල්ශාන්. දිනෙරු ලස්සන නමක් .. මම සිතින් මිමිනුවා.

මම ඉදිරියට පැමිණි එම තරුණයා  දැකීමෙන් මගේ දෙනත් මටම අදහා ගන්න බැරි උනා.මීට මාස ගණනාවකට පෙර සිරීපාද චරිකාවේදී මට මුණ ගැසුණු ඔහු මම ඉදිරියේ සිටගෙන හිටියා. මගේ හිතේ ඇදිල තිබුන රුවක්. ඔහුත් විමතියට සහ සතුටට පත් වූ බවක් පෙනෙන්නට තිබුනා.පසුගිය කාලය පුරාම මගේ සිත ඔහු පිලිබදව විමසමින් සිටිය බව ඔහු දන්නවනම් මට ඇති වුනේ සියුම් ලැජ්ජාවක්.

මේක නම් පුදුම හමුවීමක්. මට කතා කරගන්නත් බැරිවුණා . ඒත් මේ මගේ රාජකාරිය නේද. නැවතත් මම මගේ පියවි ලෝකයට අවා.

කොම්පියුටර් ප්‍රෝග්‍රෑම් හැටියට මේකේ ලොකු ප්‍රොජෙක්ටර් එකක් තියෙනවා. අනික මේ තනතුර කැෂුවල් එකක් . ඔයාට මේ වගකීම් දරාගන්න පුලුවන්ද? මම ඔහුගේ සහතික පිරික්සන ගමන් විමසුවා.

එදා උන සිදුවීම එක්ක මම වගකීමක් නැති කෙනෙක් කියල හිතන්න එපා මැඩම්. අහින්සක ලෙස ඔහු උත්තර දුන්නා. නිසැකවම ඔහු විසින්ද මාව  හදුනාගෙන තිබීම මගේ සිතට සතුටක් වුනා.ඔහුගේ කටහඩේ තිබුනේ පිළිගන්න බැරි තරම් සංවර බවක්. සිත් ඇද ගන්න සුළු බවක්. කීකරු බවක්. වැදගත් ඇදුමකින් සැරසී හිටිය ඔහුව මට පෙනුනේ එදාට වඩා හාත්පසින්ම වෙනස්ම කෙනෙකු ලෙසයි.

මම නැවතත්  ඔහු දෙස බැලුවා. රැලි ගැසුණු කොණ්ඩය,එහි තද කළු බව දිගු නහය සිහින් තොල් සහ ඊට යටින් නිකටෙහි යන්තමට වැවී ඇති යටි රැවුල මුහුනට එකතුකර තිබුනේ අමුතුම ලස්සනකි. ඇයි රඟපාන්නට නොයන්නේ මට එහෙම අහන්න සිතුනා. 

මට එක්ස්පීරියන්ස් තියෙනවා මැඩම් .  මගේ නිහඩ බව බිදිමින් ඔහු කතා කලා. මට කතා කර ගැනීමට නොහැකි වී තිබුනා..සම්මුඛ පරීක්ෂණයට පැමිණ ඇත්තේ මම දැයි සැකයක් මට ඇතිවුනා. 

ඒ තරම් සේවා පළපුරුද්දක් ඔහුට නොතිබුනත් ඔහුට උදව් කිරීමට මගේ සිත පිළිඅරගෙන අවසාන වෙලා තිබුනේ. මම ඔයාව කොම්පියුටර් මැනේජර් ට හදුන්වල දෙන්නම් මම සෙමින් මිමිනුවා. 

බොහොම ස්තුතියි මැඩම් ඔහුගේ දෙනත් දීප්තියෙන් දිලිසුනා.
මැඩම් කෑල්ල පැත්තකට දාන්න ප්ලීස්.
පානදුරේ ඉදන් කොහොමද නිට්ටඹුවට හැමදාම එන්නේ ඔයාට බෝඩිමක් හොයාගන්න වෙයි.
මම නවතින්න තැනක් හොයාගන්නම් මිස්  ඊලගට ඔහු එහෙම කිව්වා. 

දෙවැනි වතාවටත් අපි නැවත හමුවී තිබේ. පළමු මතකය සිතෙන් ඉවත්වෙන ආසන්නයේදී ඔහු මට නැවතත් හමුවුයේ දිගු අනාගතයකට යැයි මට සිතුනි.
 
දිනෙරුට කොම්පියුටර් ගැන නොලේජ් එකක් තියෙනවනේ.
පොඩ්ඩක් මගේ කොම්පියුටර් එක චෙක් කරලා බලන්න පොඩි එරස් වගයක් තියෙනවා. මගේ අසුන ඔහුට දෙමින් මම නැගී සිටියා. මට ඕනේ වුනේ දේවිකා ට ඇමතුමක් දීල මේ බව කියන්න.

ඔහු විනාඩි පහක් පමණ එය පරීක්ෂා කරන අතරතුරේ මම දේවිකාට කතා කළා. මගේ ඇමතුමට දේවිකා දුවගෙන ආවේ උබනම් හරි ලකී කියල කියාගෙන. යන්තම් හිනාවෙමින්. මහල් දෙකකින් සමන්විත මෙම ආයතනයේ පරිගණක සහ ගිණුම් අංශය පිහිටා  තිබුනේ ඉහල මාලයේ. බිම් මහලේ පිරිස් පාලන අංශය පිහිට තිබුනා. 

තෝරාගත්තේ මම යි . එත් එන්නේ උඩ තට්ටුවට. මම දුකෙන් වාගේ කියද්දී දේවිකා  හිනා වෙන්නට උත්සාහ කලා. හරි හරි අපි බලාගන්නම් බය වෙන්න එපා කියලා. 

මිස්ගේ නම මොකක්ද යන්න ලැහැස්ති වෙලා ඔහු නිහතමානී ලෙස විමසා හිටියා. මම නිමේෂා ඔහුට සුබ පතන ගමන් මම පැවසුවා. 

අහිංසක අයට රැවටෙන්න එපා ඒ දේවිකා ගේ පළමු අවවාදයයි. 

දිනෙරු ගියාට පස්සේ දේවිකාත් ටික වෙලාවක් ඉදල යන්න ගියා. එක පාරටම මගේ පරිගණකයේ වෙනස් වී තිබුන ස්ක්‍රීන් සර්වර් එක තිරයේ දිස්වුනා.
දිනෙරු විසින් එය වෙනස් කරලා තිබුනා. 

මෙතනින් එහා ලස්සනයි ... ඒ විදියට සටහන් වෙලා තිබුන අකුරු එහාට මෙහාට කැරකුනා.මම හිතන්නට පටන් ගත්තා. ඔහු මෙය ලිව්වේ ඇයි. ඒ ඔහුගේ අනාගතය ගැනද. එසේ නැත්නම් අපි දෙදෙනාගේ අනාගතය ගැනද. මගේ සිත තුලට නොයෙක් අන්දමේ සිතුවිලි රිංගන්න පටන් ගත්තා. 

දිනෙරුට රැකියාව ලැබුනා. ඇත්තටම එදා සම්මුඛ පරීක්ෂණයට ඇවිත් හිටිය අයගෙන් ඔහුට කැපී පෙනෙන කුසලතා තිබුනා. මම දන්නා කෙනෙක් කියල පරිගණක අංශයේ ලකී මහතා දිනෙරුට ඒ රැකියාව ලබා දුන්නා. දිනෙරු හොදින් කැපවීමෙන් වැඩ කරන්න පටන් ගත් නිසා අපේ තෝරාගැනීම නිවැරිදි වුනා. 

එක දවසක මම වේලාසනින් කාර්යාලයෙන් පිටවෙලා වතුපිටිවල බස් නැවතුමට අවා. ගම්පහ බස් එකක් එනතුරු බලා සිටි මම පුවත් පතක් ගැනීම සදහා අසල පිහිටි කුඩා පත්තර කඩය වෙත පියමැන්නා.පත්තරය ගන්න දිගු කල මුදලෙහි තිබූ රුපියල් පහේ කාසිය බිම වැටී කඩය ලගම තිබූ මඩවල වෙත රෝල් වෙලා ගියා.
“සල්ලි වැටුන නේද නිමේෂා”  දිනේරුගේ කටහඩ ඇහිලා මම හැරිලා බැලුවා.
ඉන්න මම බලන්න ඔහු මඩවලට අතදාලා පහේ කාසිය හොයන්න පටන් ගත්තා.
එපා දිනෙරු මඩ නේද...ඔහු ගැන අනුකම්පාවෙන් මම ඇහුවා.
පහේ කාසිය අහුලාගෙන ඔහු නැගිට්ටේ මීට වඩා මඩ මම නාලා තියෙනවා කියල හිනාවීගෙන. ඔහුට වේගයෙන් මගේ සිත ඇතුලටම ඇවිත් ලැගුම් ගන්න ඒ සිදුවීම විතරක් ප්‍රමාණවත් වුනා.
මම ස්තුති කරද්දීම ගම්පහ බස් එක ආවා.
මම යන්නෙත් එකේම තමයි දිනේරුත් ඇවිල්ල ඒ බස් එකේම එල්ලුනා.

ගොඩක් දවස් වලට දිනෙරු ඇදගෙන ආවේ සුදුපාට කමිස . ඒ වුනාට හොදින් ඇදුම් ගලපා ගැනීමේ හැකියාවක් ඔහුට තිබුනා. 

දිනෙරු මාත් එක්ක කතා කරමින් සිටිය මොහොතක පෙරේරා මහතා කොල්ලා හරි ස්මාර්ට් නේද කියල මගෙන් විමසුවා. කැමති නම් දැන් එකට හිටිය ඇති කියල අම්මට කියන්න. හැමදාම කියන කතාව ඔහු නැවතත් පැවසුවා. 

දවල්ට කෑම කද්දී ඔහු ඉදගෙන හිටියේ අපේ මේසයට එහායින් තනියම.ඔහු හිටියේ තරමක ලජ්ජාවෙන් වගේ නිසා මම දේවිකා එක්ක එකතුවෙලා ඔහුව අපේ කෑම මේසයට කැදවා ගත්තා. එදා ඉදන් අපි තුන් දෙනාම කෑම කන්න ඉදගත්තේ එකටමයි. 

මගේ අම්මා තෙල්දාළ හදන කරවල බැදුමට ඔහු ගොඩක් ආසා කළා. දිනේරුගේ අම්මටත් රසට කෑම  උයන්න පුළුවන් නේද අපේ ප්‍රශ්ණ වලින් ඔහුට බේරුමක් තිබුනේ නෑ. 

ඒ ආසන්නයේම තවත් දවසක වැඩ ඇරිලා ගෙදර යද්දී බස් එකේදී මට දිනේරුව හමුවුනා. මම ඉදගෙන හිටිය සීට් එක ලගට ඇවිත් ඔහු හිටගෙන හිටියා.
ඉස්සරවෙලා පඩි අරන් මොකද කලේ අපිට පටියක් දුන්නෙත් නෑ නේද
මට නිමේෂාව අමතක නෑ. එත් හයිෆයි අයට තෑගී දීල සවුත්තු වෙන්නත් බෑනේ .ඔහු අහක බලාගෙන උත්තර දුන්නා. ඔහු මගේ මුහුණ බලාගෙන එක වචනයක්වත් කතා කලේ නෑ. නමුත් ඔහුගේ රුව ඉරියව් සහ කතාබහ සියල්ලම අමතක නොවන චිත්‍රයක් වාගේ මගේ සිත ඇතුලේ සහ නෙත් මානයේ ඇදෙන බව මට තේරුනා.
මොන තෑගීද කේක් කෑල්ලක් දුන්නනම් ඉවරයිනේ. ටික වෙලාවකට පස්සේ දිනෙරුට මම ලගින් වාඩිවෙන්න අවස්ථාවක් ලැබුනා.
ඔයාට තැන්ක්ස් කරන්න මම අවස්ථාවක් එනකන් බලාගෙන හිටියා. මගේ ඇස්දෙක දිහා එක එල්ලේම ඔහු බලාගෙන හිටියා.
ජොබ් එකක් හොයා ගන්න මම මොනතරම් මහන්සි උනාද . ඇත්තටම ජීවිතේ එපා වෙලා තිබුනේ. ඉස්සරවෙලාම පඩිය අරගෙන ගිහින් අම්මගේ අතට දුන්නා. අම්මගේ ඇස්වල සතුටු කදුළු පිරුනා. එදා මම අම්මගේ ලොකු වෙනසක් දැක්කා. ඒ පින අයිති ඔයාටයි නිමේෂා.

මට ඔහුගැන පුදුම හිතුන . ඒ වගේම අනුකම්පාවක් දැනුනා. එයා ඇයි  මට මේවා කියන්නේ.
ඔය හිතනවා ඇති ඇයි මම මේවා ඔයාට කියන්නේ කියලා. ඒ මට ඔයාගේ මොකක් හරි වෙනසක් දැනෙන හින්දා. මම හිතුව දේ ඔහුට තේරෙන්න ඇති. එත් ඒ මොකක්දෝ වෙනස ගැන ඔහු පවසූ දේ ගැන මට ඇතිඋනේ කිවනොහැකි සතුටක්.
වෙනසක් ඒ වගේ ප්‍රස්නාර්ථයක් මගේ මුහුණේ ඇදුනා.
ඒ කියන්නේ සුපුරුදු ගතියක් නිකන් විශ්වාසයක් වගේ ඔහු පැහැදිලි කළා. 

දිනේරුගේ සමීප කතාබහ නිසා ඇත්තටම මට ගොඩක් සතුටක් දැනුනා. මොනතරම් දුරක් බස් එකේ ආවද කියල මට දැනුනේ නෑ.

මගෙන් සමු අරගෙන දිනෙරු නිට්ටඹුවෙන් බැහැල යන්න ගියා. සද බැසගෙන යන අහසෙහි තැබිලි පාට වර්ණ වෙනදට වඩා  දීප්තියෙන් දිස්වූනා. සොබාදහමේ සුන්දරත්වය, සද එලිය ජීවිතේ වෙහෙස නිවන අයුරු මොනතරම් චමත්කාරජනකද.

No comments:

Post a Comment